විසිතුරු ජලජ පැළෑටි වගාවට නාරා අතහිත
ජලජ පැළෑටි යනු ජලජ පරිසර තත්වයන්ට හැඩගැසුණු ඒ සඳහා විශේෂිත අනුවර්තන පවතින පැළෑටිය. ජලජ පැළෑටිවලින් විවිධාකාරයේ ප්‍රයෝජන පවතින අතර ඒවා ආහාර වශයෙන් ද ඖෂධ වශයෙන්ද විසිතුරු මසුන් සහිත ජලාලයන් අලංකරණය සඳහා ද යොදාගනී. ඒවායේ සෞන්දර්යාත්මක බව ඉස්මතු කරමින් එයට විශේෂිත ආකර්ෂණයක් ලබාදීම සඳහා විසිතුරු ජලජ පැළෑටි මගින් මහඟු මෙහෙවරක් ඉටුවේ. මින්මැදුරු අලංකරණයට අමතරව දිවාකල ඔක්සිජන් වායුව සපයන ප්‍රභවයක් ලෙසද ජලජ පැළෑටි වැදගත් වේ. එසේම මින්මැදුරු තුළ කරදරකාරී ලෙස වැවෙන්නා වු නොයෙකුත් ඇල්ගී විශේෂ මැඩපවත්වා ගැනීමද ජලජ පැළෑටි මගින් සිදුකරයි. බිත්තර දමන මසුන්ට එම කාර්යයේ දී සහාය වන මාධ්‍යයක් ලෙසද ජලජ පැළෑටි වැදගත් වන බව හඳුනාගෙන ඇති අතර කලහකාරී නොවන මසුන්ට අනෙකුත් විලෝපික මසුන්ගෙන් සැඟවීමට සුදුසු කදිම පරිසරයක් ද ජලජ පැළෑටි මගින් නිර්මාණය කරයි. මෙලෙස මත්සයින්ට අවශ්‍ය ආරක්ෂිත පරිසරයක් සපයන අතර ඔවුන්ට තම ස්වාභාවික පරිසරය, කෘතිම පරිසරයක් තුළ දී ප්‍රතිනිර්මාණය කරදීමටද ජලජ පැළෑටි උපකාරී වේ. මින්මැදුරු තුළදී සිදුකරන කාර්යභාරයට අමතරව මේවා පාරිසරික පද්ධතිවල සමතුලිතභාවය පවත්වා ගැනීමේ දී විශේෂිත වූ කාර්යයක් ඉටුකරයි. පරිසර පද්ධති තුලදී, සෘජුවම ආහාර ප්‍රභවයක් ලෙසද, මත්ස්‍ය අභිජනනයේදී අවශ්‍ය උපස්ථර සහ අවශ්‍ය පරිසරය සැපයීමටද කුඩා මසුන්ට අවශ්‍ය ආරක්ෂාව, සැඟවීමට තැන් හා ආහාර සපයන ප්‍රභවයක් ලෙස ද කෘෂිකාර්මික බිම්වලින් සෝදා එන පෝෂ්‍ය ද්‍රව්‍ය සක්‍රීය ලෙස අවශෝෂණය කරන ප්‍රභවයක් ලෙස ද ජලජ පැළෑටි වැදගත් වේ.
විසිතුරු ජලජ පැළෑටි සඳහා පවතින ඉල්ලුම
විසිතුරු
ජලජ පැළෑටි කර්මාන්තය ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළ අංශයකි. තවද
එය අනාගතයේ දී විදේශ විනිමය උපයන ප්‍රධාන ක්‍රමෝපායන් අතරට එක්වීමට වැඩි විභවයක් පවතින්නාවූ
ක්ෂේත්‍රයකි. ජලජ පැළෑටි සඳහා අධික ඉල්ලුමක් පැවැතියද ඒ සඳහා
ප්‍රමාණවත් තරම් අපනයනය කිරීමට ශ්‍රීලංකාව අපොහොසත් වී ඇත. දැනට
පෞද්ගලික අංශයේ අපනයනකරුවන් විවිධ ක්‍රම මගින් ජලජ පැළෑටි ප්‍රචාරණය කොට අපනයනය සඳහා
යොමු වී ඇතත් තවමත් ඉල්ලුම හා සැපයුම අතර පවතින පරතරය පියවීමට හැකියාවක් ලැබී නැත. ලෝකයේ
ජලජ පැළෑටි සඳහා දැනට බලවත් වෙළෙඳපොළ යුරෝපයේ පවතින අතර ඇමෙරිකා එක්සත් ජනපදය ද වේගයෙන්
ඉදිරියට එමින් සිටී. එහිදී ආනයනික
විශේෂ සංඛ්‍යාව, නව ප්‍රභේද වර්ග හා ඒවායේ ගුණාත්මකභාවය යන කරුණු
මත පදනම් වූ වෙළෙඳපොළක් නිර්මාණය වෙමින් පවතී.
අතීතයේ දී ශ්‍රීලංකාවෙන් අපනයනය සඳහා යොදාගනු
ලැබුවේ ස්වාභාවික පරිසර වලින් එකතුකරගත් ජලජ පැළෑටිය. එහෙත්
දිගින් දිගටම සිදුවූ ඉවක් බවක් නොමැති ඉවත් කිරීම් නිසා ස්වභාවික පරිසරවලට දැඩි බලපෑමක් ඇතිවිය. මෙහිදී
සමහර ආවේණික විශේෂ වඳවීයාමේ තර්ජනයට ලක් වූ නිසා ස්වාභාවික පරිසරවලින් එකතුකොට අපනයනය
කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර නවතාදමා තවාන් තුළ වගා කොට ප්‍රචාරණයෙන් පසු ලබා ගන්නා
පැළ පමණක් අපනයනයට ඉඩ දෙන ලදී.
ශ්‍රී ලංකාව ස්වාභාවික ජලජ සම්පත් අතින් පොහොසත් රටක් වුවද ලෝක වෙළෙඳපොළහි අධික ඉල්ලුමක් පතින්නේ විදේශීය විශේෂ (exotic species) සඳහාය. මේ හේතුවෙන් වගා ක්‍ෂෙත්‍රයේ නිරතවූවන් විදේශීය විශේෂ මෙරටට ආනයනය කර ඒවා ප්‍රචාරණය කොට නැවත අපනයනය සඳහා පෙළඹී ඇත. ශ්‍රීලංකාවේ වඩාත් ආකර්ෂණීය විශේෂ ලෙස Cryptocoryne, Anubias, Echinodrus, Aponogeton, Hygrophyla, Bacopa, Miriophyllum හා Lagenandra යන විෂේශ කැපී පෙනේ. මින් Cryptocoryne හා Anubias යන විශේෂ වෙළදපොළේ ඉතා ඉහල මිලකට අලෙවි වේ.වර්තමානයේ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයද මෙය කෙරෙහි අවධානය යොමු කොට පැල තවාන් මගින් ජලජ පැළෑටි ප්‍රචාරණය කර අපනයනය සඳහා පියවර ගෙන ඇත.
දැනට ජලජ පැළෑටි ප්‍රචාරණය සඳහා ලිංගික ප්‍රජනන ක්‍රම (බීජ මගින්) හා අලිංගික ප්‍රජනන ක්‍රම වන අතුකැබලි මගින්, මොරෙයියන්, ධාවක, රයිසෝම කැබලි හා පටක රෝපණ ක්‍රම යොදා ගනු ලැබේ. ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය (NARA) ජලජ පැළෑටි වගාව ජනතාව අතර ප්‍රචලිත කරනු වස් “ප්‍රජා මූලික විසිතුරු පැළෑටි වගා ව්‍යාපෘතිය” දියත්කර ඇත. එහි දී කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්ක වල තෝරාගත් පවුල් සඳහා ජලජ පැළෑටි ගෘහයක් සදහා අවශ්‍ය ආම්පන්න (යකඩ රාමු, ටැංකි, දැල් ආවරණ, PVC බට හා ජලජ පැළෑටි) සපයන ලදී. ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික දැනුමද ලබාදෙන ලදී. විසිතුරු ජලජ පැළෑටි කර්මාන්තයේ අනාගත අභිවෘද්ධිය සඳහා ගත හැකි ක්‍රමෝපායන් ලෙස ජාන ඉංජිනේරු තාක්ෂණය මගින් නව ප්‍රභේද හඳුන්වාදීම, පටක රෝපණ ක්‍රම ව්‍යාප්ත කිරීම මගින් වඩා ගුණාත්මක හා රෝගවලින් තොර පැල විශාල ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීම, නව ඇසුරුම් ක්‍රමෝපායන් හදුන්වා දීම මගින් අපනයන ක්ෂේත්‍රයේ ඵලදායිතාවය ඉහල දැමීම, ක්ෂේත්‍රයේ ගොවි මහතුන් සඳහා රජය මගින් ණය සහන ක්‍රමයක් හඳුන්වා දීම, මෙම ක්ෂේත්‍රයේ සඳහා පවතින ණය පොලී අනුපාත අඩුකිරීම, රාජ්‍ය ආයතන මගින් අපනයනය කරුවන් හා වගාකරුවන් සඳහා නොමිලේ උපදේශක සේවා සැපයීම, වගාකරුවන් ගේ නිෂ්පාදන මිලදී ගැනීමට රජය මැදිහත් වීම, අපනයන කරුවන් සොයා ගැනීමට මැදිහත් වීම හා වගාකරුවන් සදහා රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීම තුලින් වගාකරුවන් සුරක්ෂිත කිරීම වැනි කටයුතු හඳුන්වාදිය හැකියි.
ජලජ පැළෑටි වගාව මගින් දැනට ශ්‍රීලංකාවේ ලබා ගන්නා විදේශ විනිමය සීග්‍ර ලෙස වැඩි කළ හැකිය. ඒ සඳහා මෙම ක්ෂේත්‍රයේ විභවය හා දායකත්වය තවදුරටත් හඳුනා ගැනීමත් ඊට සයයෝගය ලබා ගැනීමට රාජ්‍ය හා පෞද්ගලික ආයතන එක්ව කටයුතු කිරීමත් වැදගත් වේ. මෙම ජලජ පැළෑටි වගා ක්ෂේත්‍රයේ දායකත්වය සෞභාග්‍යමත් ශ්‍රි ලංකාවක් කරා යන ගමනේ දී මහත් රුකුලක් වනු ඇතැයි උදක්ම විශ්වාස කරමි.
ආචාර්ය K.K. තාරකා නුවන්සි (ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ)
D.M. සුමංගලා සුගීශ්වරී (විද්‍යාඥ)
ආචාර්ය ප්‍රජානි හීනටිගල ( ප්‍රධාන විද්‍යාඥ)



Comments
Post a Comment