ඔබ රැකව නාරා ප්‍රාදේශිය පර්යේෂණ මධ්‍යස්ථානය නැරඹීමට යා යුත්තේ ඇයි?

දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රැකව කලපුවට යාබදව පිහිටි මනරම් භූමියක රැකව නාරා ප්‍රාදේශිය පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටා ඇති අතර එය ධීවර හා ජලජ සම්පත්වල තිරසාර බව තහවුරු කරමින් වර්තමාන සහ අනාගත පරම්පරාවල අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගනිමින් ප්‍රජා මූලික කළමනාකාරිත්වය සහ සුදුසු තාක්ෂණය භාවිතා කිරීම තුළින් ප්‍රජාව සහ ආයතන ඇතුළු සියළු සම්පත් මෙහෙයවීම. මෙහෙවර යටතේ ක්‍රියාත්මක වේ.

මෙම මධ්‍යස්ථානය ආශ්‍රිතව පවතින සුන්දර කඩොලාන පරිසරය මෙන්ම රැකව කලපුව අධ්‍යනයට දේශිය මෙන්ම විදේශිය විශ්වවිද්‍යාල සිසුන් බොහෝ පිරිසක් මෙහි පැමිණෙන අතර පාසල් සිසුන්ටද මෙම පරිසරය ගැන අත්දැකීමක් ලබාගැනීමට මෙම මධ්‍යස්ථානය මහඟු තෝතැන්නක් වේ. තවමත් මානව ක්‍රියාකාරකම් හමුවේ විනාශ නොවුනු මෙම මනරම් රැකව කලපුව හා කඩොලාන පරිසර පද්ධතිය මහ කඩොල් (Rhizophora mucronata), මල් කඩොල් (Bruguiera gymnorhiza සහ Bruguiera sexangula), ඇවරි කඩොල් (Aegiceras corniculatum), තෙල (Excoecaria agallocha), බෑරිය (Lumnitzera racemosa) වැනි කඩොලාන විශේෂ 11කින් පරිපූර්ණ වේ. එමෙන්ම කඩොලාන පරිසරයේ සුවිශේෂී අනුවර්තනයන් වන කරු මුල් (Prop roots), වායුධර මුල් (Pencil Roots), දනිස් මුල් (Knee roots) හා කයිරු මුල් (Stilt roots) මෙම ස්ථානයේදී ඔබට පැහැදිලිව නිරීක්ෂණය කිරීමට හැකිවන අතර බොහෝ දෙනාගේ ඇස නොගැටෙන කඩොලාන බීජයන් දැකබලාගැනීමට ඔබට අවස්ථාව ලැබේ.

එමෙන්ම කඩොලාන පරිසරයට ආවේණික සතුන් වන කලපු කකුළුවා (Scylla serrata), කඩොලාන කාවාටි (Saccostria sp) හා කඩොල් බෙල්ලා (Littorina scabra) වැනි සත්ත්ව විශේෂ නිරීක්ෂණයටද මෙම පරිසරය යොදාගත හැකිය. එසේම බ්‍රාහ්මණ රාජාලියා, දියකාවා (Phalacrocorax carbo), කරවැල් කොකා (Purple heron), අහිකාවා (Oriental darter), පැස්තුඩුවා (Pelican), රත් තැලි කිරලා (Red wattled lapwing) වැනි ජලජ පක්ෂීන් විශේෂ බොහෝමයක් මෙහිදී දැකගත හැකි අතර නිල්පෙඳ බිඟුහරයා (Blue-tailed bee-eater) වැනි සංක්‍රමණික පක්ෂි විශේෂද මෙම පරිසරයේ මේවන විට සුලභ දසුනක් වී ඇත.

මේවන විට දකුණු පළාතේ බොහෝ පාසල්වල දරු දැරියන් ක්ෂේත්‍ර අධ්‍යනයන් සඳහා අප නාරා රැකව ප්‍රාදේශිය පර්යේෂණ මධ්‍යස්ථානයට පැමිණෙන අතර අපගේ කාර්යය මණ්ඩලය මගින් ඔවුන්ට ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල යෙදීමට එම පරිසරය තුලදීම අවස්ථාව ලබාදීම මගින් මනා ක්ෂේත්‍ර පුහුණුවක් ලබාදේ. පාසල් පොත පතින් ලබන දැනුමින් ඔබ්බට ගොස් ඔවුන් ලබන ප්‍රායෝගික අත්දැකීම පිළිබඳව මෙම දරුවන් දක්වන්නේ ධනවාදී ආකල්පයකි.

එමෙන්ම අප ප්‍රාදේශිය පර්යේෂණ මධ්‍යස්ථානය මගින් විසිතුරු මත්ස්‍යය පැටවුන් නිෂ්පාදනය සිදුකරන අතර මනා පළ පුරුදු කාර්ය මණ්ඩලයක් මගින් මේ වන විට කොයි කාෆ්, මොලී, ස්වෝඩ් ටේල්, ගප්පි සහ ඒන්ජල් වැනි නිෂ්පාදනයන් සිදුකර බාහිර පාර්ශවයන්ට සහන මිලට ලබාදීමක් සිදුකරයි. තවද සාමාන්‍ය පෙළ පාසල් විෂය ධාරාවේ එන ජලජ ජීව සම්පත් තාක්ෂණය යන විෂයට අදාල විසිතුරු මසුන් අභිජනනය, මත්ස්‍යය පෝෂණය සහ කෘතිම හා සජීවී ආහාර නිෂ්පාදනය, ජල කළමනාකරණය හා රෝග පාලනය වැනි ක්ෂේත්‍රයන් වලට අදාල ප්‍රායෝගික දැනුම ලබාගැනීම සඳහා බොහෝ පාසල් සිසුන් අප ආයතනයට පැමිණේ. එමෙන්ම විසිතුරු මත්ස්‍යය වගාකරුවන්, ස්වයං රැකියාවල නිරතවන්නන්, පාසල් හැරයන්නන් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන සඳහා පුහුණු වැඩමුළු අප ආයතනය මගින් සිදුකරනු ලබන අතර විසිතුරු මත්ස්‍ය වගාවේ යෙදෙන්නන් හට එය මහත් රුකුලක් වේ.

මෙවන් පසුබිමක් යටතේ ඔබ රැකව නාරා ප්‍රාදේශිය පර්යේෂණ මධ්‍යස්ථානය නැරඹීමට යා යුත්තේ ඇයි ද? යන වග මනා ලෙස අවබෝධකරගත හැකිය.

එබැවින්,

ඔබත් රැකව නාරා ප්‍රාදේශිය පර්යේෂණ මධ්‍යස්ථානය සහ ඒ අවට රැකව කලපුව හා කඩොලාන පරිසර පද්ධතිය නැරඹීමට පැමිණ එහි ඇති සුන්දරත්වය රසවිඳින්න. සුන්දර මතක සටහන් පමණක් රැගෙන යන්න.

 

වත්සලා සුවඳහැන්නදි

‍රැකව ප්‍රා.ප. මධ්‍යස්ථානය

Comments

Popular posts from this blog

Why you should visit NARA Regional Research Centre at Kadolkele?

විසිතුරු ජලජ පැළෑටි වගාවට නාරා අතහිත

ශ්‍රී ලංකාවේ වෙරල තීරයන්ට නීල ධජ ( Blue Flag ) සහතිකයක් !!!!